Sunday, May 19, 2024
Follow Us
බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් කිරීමට පෞද්ගලික ආයෝජකයෙක්

බෝගම්බර බන්ධනාගාරයෙහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි. එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඇමතිවරයා කියයි.

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක මහතා පවසයි.

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු විට අනෙකුත් භූමිය සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ය. 2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාරය ඉදිරිපස කොටස හොදින් සංරක්ෂණය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට ද සංවර්ධනය කර තිබේ.