Saturday, July 19, 2025
Follow Us
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය
  • පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරයි

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (17) රැස්වූ   යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලද අතර ලබන 24 වැනිදා දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ අනුමතිය හිමිවිය. 

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ. මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළ විය.

නීතිපති දෙපාර්තමේන්තුවද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළ අතර මීට පෙර කාරක සභාවේදී එකඟවූ සංශෝධනද සමඟ පනත් කෙටුම්පත කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබිණි. නව පනත් කෙටුම්පතට අනුව ඉඩම් අයිතිය, පාරිභොගික අයිතීන් ආදි කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම පනත සම්මත වීමෙන් පසු පාරිභෝගීක අයීතීන්  පිළිබඳ රෙගුලාසි සෑදීම සඳහා මසක කාලයක් තුළදී විදුලිබල අමාත්‍යාංශය සහ  මහජන උපයෝගීතා කොමිෂන් සභාව එක්ව කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට කාරක සභාව විසින් නි‍ර්දේශ කරන ලදී.       

මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, මංජුල සුරවීර ආරච්චි සහ ශාන්ත පද්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද කාරක සභාවේ සභාපතිවරයාගේ අනුමතිය මත මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද  සහභාගී වූහ.